කොලෙස්ටරෝල් පාලනය කරන කරපිංචා




ආහාර පිසින විට,කරපිංචා යනු නැතුවම බැරි දෙයකි. ඒවායේ අඩංගු ෆ්ලෙවනොයිඩ් හා කෙඳි නිසා,රුධිරයේ LDL කොලෙස්ටරෝල් පාලනය කරන බව සොයාගෙන ඇත. කෙඳි සහිත බව නිසා, කොලෙස්ටරෝල් අවශෝෂණය බාල කිරීම එයට හේතුව ය. එම නිසා,මෙය හෘද රෝගීන්ට දිව ඔසුවකි. කරපිංචාවල විටමින් A සහ C අඩංගු ය. අමුවෙන් ආහාරයට ගැනීමෙන්, එම ගුණ ළඟා කරගත හැකි ය.

කරපිංචා වියළීමේදී, සමහර විටමින් කොටස් විනාශ වේ. මෙහි, යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු නිසා, කරපිංචා හොඳ ඔක්සිකාරකයකි. එමනිසා, ශරීරයට ඇතුළුවන වස විස ද, දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ග්ලුකොස් ප්‍රමාණය ද පාලනය වේ.

සර්ප විෂ පාලනය කිරීමට,කරපිංචා කොළ අඹරා දෙන්නේ ද, මෙහි තිබෙන ඖෂධීය ගුණ නිසා ය. කරපිංචා යනු කුළුබඩු වර්ගයකි. අප කළ යුත්තේ ආහාරයට එක් කරන කරපිංචා විසි කිරීම නොව, ඒවා හොඳින් සපා කෑම ය. එවිට, එහි ඇති ගුණය, පෝෂණය හා ඖෂධීය වටිනාකම නිසි පරිදි සිරුරට ලද හැකි ය.

නිරෝගී දිවියක් සඳහා, කරපිංචා කැඳ පානය ඉතාමත් ම ගුණදායක ය. කරපිංචා කොළ තෙලෙන් බැද, ආහාරයට එක්කර ගැනීම ඉතාමත් ම රසවත් ය. කරපිංචා සාරය, සෝස් ලෙස සකසා වෙළෙඳ පොළේ විකිණීමට ද තබා ඇත.මෙය , කොලෙස්ටරෝල් මර්දනය කරන, ඉතා ලාභදායී ඖෂධයකි. කරපිංචාවල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා, පිළිකා සෛල නැසීමේ ගුණයෙන් ද, වයස්ගත වීම අවම කිරීමේ ගුණයෙන් ද යුක්ත ය.

උපදෙස්- ප්‍රජා සෞඛ්‍ය කාර්යංශයේ
ආහාර හා පෝෂණ වෛද්‍ය
සැලී ප්‍රනාන්දු


මදාරා මුදලිගේ
දිනමිණ - 24.07.2017